“මහණෙනි, අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගත තෙමේ නූපන් නිවන්මග උපදවන්නා ය. නොහටගත් නිවන්මග හටගන්වන්නා ය. දෙව්මිනිස් කිසිවෙකු නොපවසන ලද නිවන් මග පවසන්නා ය. නිවන් මග මැනැවින් දන්නා ය. නිවන් මග මැනැවින් අවබෝධ කළ කෙනා ය. නිවන් මගෙහි දක්ෂ වූ කෙනා ය. මහණෙනි, මෙකල්හී ශ්‍රාවකයෝ ඒ මග යමින් තථාගතයන් පසුපසින් ගමන් කරමින් හැසිරෙති.”
(සම්බුද්ධ සූත්‍රය – සං. නි. 3)
අපගේ බුදුරජාණන් වහන්සේ මේ වදාළ කරුණ ගැන මොහොතක් හිතන්න. අප කුමක් කතා කළත් මේ බුදු සසුන අයිති භාග්‍යවතුන් වහන්සේට ය. ධර්ම විනයෙහි නිර්මාතෘහු භාග්‍යවතුන් වහන්සේ ය. ධර්ම විනය පිළිබඳ අර්ථ විවරණ සපයන මහා විශාරදයාණෝ භාග්‍යවතුන් වහන්සේ ය. ධර්මස්වාමීහු භාග්‍යවතුන් වහන්සේ ය. මෙය දෙව් මිනිස් ලෝකයෙහි විද්‍යමාන වූ පරම සත්‍යයකි.
නමුත් වත්මන් ලෝකයෙහි බෞද්ධ ජනයා ඒ ධර්ම විනය කෙරෙහි ගෞරව කරන බවක් නොපෙනේ. එය තුට්ටුවකට මායිම් කරන බවක්වත් නොපෙනේ. බොහෝ ගිහි පැවිදි අය කරනු ලබන්නේ තමන්ගේ මතයක් පැවසීම යි. එතැනින් නොනැවතී තමන්ගේ මතය සමාජගත කිරීම පිණිස තමන් රහත් ය, අසවල් අසවල් ධ්‍යාන ලබා ඇත්තේ ය. පටිසම්භිදා ලබා ඇත්තේ ය. අන්‍යයන් ද මගඵල ලැබීම පිණිස ත්‍රිවිධ රත්නයේ සරණ ගොස් මග වැඩීම වෙනුවට තමා ළඟට පැමිණ තමාගෙන් උපදෙස් ගත යුත්තේ ය යනාදී ඉතා ළාමක වූ පවිටු අදහස් පවසමින් තමන් වටා ජනයා ඒකරාශී කරයි. ජනයාට ද උවමනා ඇසට පෙනෙන කෙනෙකුගෙන් සජීවීව අසමින් කවුරුන් හෝ විශේෂ පුද්ගලයෙකු සරණ යෑමට යි. ඔවුන්ට අවංකව ම තෙරුවන් සරණ යෑමේ අවශ්‍යතාවක් ගැන නිසියාකාරව නොවැටහේ.
වත්මන් ගිහි පැවිදි බොහෝ අය තම තමන්ට හිතු මනාපයට ධර්ම අර්ථ තෝරමින් එහි කොතරම් අන්තයට ගියාහු ද යත්, බුද්ධ වචන ඉතා නින්දිත ආකාරයෙන් වෙනස් කරති. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණයට ගරහති. පටිච්ච සමුප්පාදය යන වචනයට අමුතු ම විකෘති අර්ථ දෙති. සං සං කියමින් අමුතු ම සං බණක් කියති. කොටින් ම භාග්‍යවතුන් වහන්සේගේ ජන්ම භූමිය පවා විකෘති කොට පෙන්වති. ඔවුන්ට සිල්පද ගැන කිසි ගාණක් නැත. රහත් වූ අයට ඇවැත් නැත කියමින් දායකයන් ලවා ම රාත්‍රියට ආහාර ගෙන්වාගෙන අනුභව කරති. පුද්ගල සරණින් මුළා වූ ළාමක පුද්ගලයෝ ද ඔවුන් පසුපස යමින් ඉතා කලාතුරකින් ලැබෙන ත්‍රිවිධ රත්නයේ සරණ යෑම අත්හරිති.
ලාභ සත්කාරයෙහි මත්වූ, අධිපතිභාවයට ඇති ආශාවෙන් උමතු වූ ඔවුන් කරමින් සිටින භයානක දෙය සුළුපටු නොවේ. අප භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩසිටියදී මාර්ගඵල ගැන වදාළේ භික්ෂුවක් තමන් ලද මගඵල උපසම්පන්න නොවූ කෙනෙකුට නොකිව යුතු බවටයි. අද අපගේ ශාස්තෘන් වහන්සේගේ ඒ වචනයට ගෞරව දැක්වීමක් නැත. මේ සිදුවීම ගැන බලන්න.
ඒ දිනවල රජගහ නුවර සිටුවරයෙක් අමුතු දෙයක් කොට තිබුණි. එනම්, ඉතා වටිනා සඳුන් අරටුවකින් අලංකාර පාත්‍රයක් නිර්මාණය කරවා හුණගස් කීපයක් එකට ඈඳා ඉතා උසට නංවා ඒ මත අර පාත්‍රය තැබ්බවූයේය.
“යමෙක් රහත් නම්, ඉර්ධිමත් නම් මේ පාත්‍රය තබන ලද්දේ ඔහු උදෙසා ය. ඔහු අහසින් පැමිණ මේ පාත්‍රය ගෙන පහළට බසීවා” කියා ය.
මේ පණිවිඩය රජගහ නුවර පුරා මහා කැළඹීමක් ඇතිකරන්නට සමත් විය. එකල තමන් රහත් ය, සම්බුද්ධ ය කියමින් ජනයා පිරිවරා සිටි පූරණ කස්සප, මක්ඛලී ගෝසාල, අජිත කේසකම්බලී, පකුධ කච්චායන, සංජය බෙල්ලට්ඨිපුත්ත, නිගණ්ඨ නාථපුත්‍ර යන උදවිය ද කැළඹී ගියහ. මොවුහු වෙන වෙනම රජගහ නුවර සිටුතුමා මුණගැසීමට ගියහ. “අනේ පින්වත් සිටුවරය, මම ද රහතෙක් මි. ඉර්ධිමත් කෙනෙක් මි. මට ඔය සඳුන් පාත්‍රය දෙනු මැනව.” යි කීහ.
“ඉතින් ස්වාමීනී, තමුන්නාන්සේ රහතෙක් නම්, ඉර්ධිමතෙක් නම් මේ පාත්‍රය තබා තිබෙන්නේ ඔබ උදෙසා ම ය. අහසට පැන නැගී එය රැගෙන බිමට බසිනා සේක්වා!” කියා සිටුතුමා පිළිතුරු දුන්නේය. කිසිවක් කරකියා ගත නොහැකිව සිටි මේ රහත් වේශධාරීන් හට කරබාගෙන යන්නට සිදුවිය.
දවසක් අපගේ මහාමොග්ගල්ලාන මහරහතන් වහන්සේත්, පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේත් රජගහ නුවර පිඬුසිඟා වැඩියහ. රජගහ නුවර සිටුවරයා එකක් මත එකක් උණගස් ඈඳා ඒ මත සඳුන් පාත්‍රය තබා ඇති ආකාරය උන්වහන්සේලාට දැකගන්නට ලැබුණි. එවිට පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ අපගේ මහාමොග්ගල්ලානයන් වහන්සේට මෙසේ පැවසූ සේක.
“ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්ස, ඔබවහන්සේ රහත් නොවැ. ඒ වගේම ඉර්ධිමත් නොවැ. අර හරි අගේට සඳුන් පාත්තරේ පෙනෙන්නේ. අහසට පැන නැගී එය රැගෙන පහළට වඩිනු මැනව. ඒ පාත්‍රය ඔබගේ ය.” එතකොට අපගේ මහාමොග්ගල්ලානයන් වහන්සේ මෙසේ වදාළ සේක. “ඇවැත් භාරද්වාජයෙනි, ඇයි මා විතරක් ද? ඔබ ද රහතෙකි. ඉර්ධිමතෙකි. වඩින්ට. අහසට පැනනැගී පාත්‍රය ගෙන පහළට බසින්ට. එය ඔබගේ ය.”
එවිට අපගේ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ අහසට පැනනැග උණගස් මුදුනේ තිබුණු පාත්‍රය අතට ගෙන රජගහ නුවර සිසාරා අහසින් වැඩි සේක. මෙය දුටු රජගහ නුවර සිටුතුමා සිය අඹුදරුවන් සහිතව දොහොත් මුදුන් දී වැඳගෙන හඬ නගා මෙහෙම කිව්වේය. “අනේ අපගේ ආර්ය වූ භාරද්වාජයන් වහන්ස, මේ අපගේ නිවසට වඩින සේක්වා!” එතකොට පිණ්ඩෝල භාරද්වාජයන් වහන්සේ රජගහ නුවර සිටුනිවසට අහසින් වැඩි සේක. සිටුතුමා උන්වහන්සේගේ පාත්‍රයට දන්පැන් පිළිගැන්නුවේය.
පිණ්ඩෝල භාරද්වාජයන් වහන්සේගේ මේ ඉර්ධි ප්‍රාතිහාර්යයට වසඟ වූ රජගහනුවර වැස්සෝ නැවත නැවත ප්‍රාතිහාර්ය දක්වන්න යැයි ඉල්ලමින් උන්වහන්සේ පිටුපසින් මහ පෙරහැරක් හැදුනි. ඒ ගිහි උදවියගේ කෑකොස්සන් ගැසීම භාග්‍යවතුන් වහන්සේට ද අසන්නට ලැබුණි. “ආනන්දයෙනි, මේ ඇසෙන මහා ඝෝෂාව කිමෙක් ද?” “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, අපගේ පිණ්ඩෝල භාරද්වාජ තෙරුන් අහසට පැන නැගී රජගහ නුවර සිටුතුමාගේ පාත්‍රය අරගෙන පහළට බැසලා නොවැ. දැන් මිනිස්සු උන්වහන්සේව පිරිවරාගෙන ප්‍රාතිහාර්යය දක්වන්න කියා කියනවා.”
මේ කාරණය මුල්කොටගෙන භාග්‍යවතුන් වහන්සේ සංඝයා රැස්කොට පිණ්ඩෝල භාරද්වාජයන් වහන්සේව කැඳවා වදාළ සේක. “හැබෑද භාරද්වාජයෙනි, තොප විසින් අහසට පැන නැගී රජගහ නුවර සිටුහුගේ සඳුන් පාත්‍රය බිමට ගන්නා ලද්දේ ද?” “එසේය භාග්‍යවතුන් වහන්ස, එය සැබෑවකි.”
“භාරද්වාජයෙනි, මෙය පැවිද්දන්ට නොගැලපෙන දෙයකි. නුසුදුසු දෙයකි. භික්ෂුවකට නොගැලපෙන දෙයකි. අකැප දෙයකි. නොකළ යුතු දෙයකි. භාරද්වාජයෙනි, මේ නොවටිනා ලී පාත්‍රයක් වෙනුවෙන් ගිහියන්ට ඉර්ධි ප්‍රාතිහාර්යය දැක්වූවා නොවේ ද? භාරද්වාජයෙනි, ස්ත්‍රියක් නොවටිනා මස්සක් පමණ ලාභ මිලකට තමන්ගේ සිරුරේ අඟපසඟ පෙන්වයි ද ඒ ආකාරයෙන් ම තොප විසිනුත් නොවටිනා ලී පාත්‍රයක් උදෙසා ගිහියන්ට ඉර්ධි ප්‍රාතිහාර්යය පෙන්නුවා නොවේ ද? භාරද්වාජයෙනි, මෙය නොපහන් වූවන්ගේ පැහැදීමට හේතුවන කරුණක් නොවේ. පහන් වූවන්ගේ පැහැදීම වැඩිවීමට හේතුවන කරුණකුත් නොවේ. නොපහන් වූ අයගේ වඩා නොපැහැදීමටත්, පහන් වූවන්ගේ පහන්බව වෙනස්වීමටත් හේතුවන කරුණකි.”
මෙසේ නොයෙක් අයුරින් ඉර්ධි ප්‍රාතිහාර්ය දැක්වීම ගැන දෝෂාරෝපණය කළ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා මෙසේ වදාළ සේක. “මහණෙනි, ගිහියන් හට රහත් බව හෝ ඉර්ධි ප්‍රාතිහාර්ය කිරීම හෝ නොදැක්විය යුතුය. එසේ දක්වන්නේ නම් ඔහුට දුකුළා ඇවතකි.”
තවත් වරෙක භාග්‍යවතුන් වහන්සේ සතරවෙනි පාරාජිකාව ලෙස භික්ෂු භාවය නැතිවීමට හේතුවන කරුණක් වශයෙන් වදාළේ තමන් තුළ නැති ධ්‍යාන, මාර්ගඵල, රහත්බව ආදිය කිසිවෙකුටත් නොකිව යුතු බවයි. මෙකල තමන්ගේ මතය උපුටා දැක්වීම පිණිසත් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉපිදවීම පිණිසත් මාධ්‍යවලින් ප්‍රසිද්ධියක් ලබාගැනීම පිණිසත් ජනයා පිරිවරාගැනීම පිණිසත් ධර්ම විනයෙන් යුක්ත බුද්ධ වචනය තුට්ටුවකට මායිම් නොකරන අමුතු ම මාදිලියේ භික්ෂු පිරිසක් තමන් රහත් ය කියා හුවාදැක්වීම බලවත් ශාසනික අර්බුදයකි. මෙයට වසඟ වූ ගිහි පිරිසක් ද මුළාවෙන් මුළාවට පත්ව ත්‍රිවිධ රත්නයේ සරණ අතහැර සිටිති. ව්‍යාජ රහතුන් සරණ යති.
සතරවෙනි පාරාජිකාවට පත්වීමෙන් භික්ෂූන් වහන්සේලාව වළකාලීම පිණිස ශික්ෂාපදය පනවන්නට පෙර අප භාග්‍යවතුන් වහන්සේ ලෝකයෙහි සිටිනා මහා හොරු පස් දෙනෙක් ගැන මෙසේ වදාළ සේක.
“මහණෙනි, ලෝකයෙහි මේ මහා හොරු පස් දෙනෙකි. ඒ පස්දෙනා කවරහු ද යත්,
මහණෙනි, මෙහිලා එක්තරා මහසොරෙකුට මෙවැනි අදහසක් ඇති වෙයි. ‘මම සිය දහස් ගණනින් පිරිවරාගෙන ගම් නියම්ගම්වල මිනිසුන් නසමින් නස්වමින් සිඳිමින් සිඳවමින් ගිනි තබමින් ගිනි තබවමින් ඇවිදින්නේ කවදාද?’ කියා ය. ඒ සොරා පසු කලෙක සිය දහස් ගණනින් පිරිවරාගෙන ගම් නියම්ගම්වල මිනිසුන් නසමින් නස්වමින් සිඳිමින් සිඳවමින් ගිනි තබමින් ගිනි තබවමින් ඇවිදියි. මහණෙනි, ඒ අයුරින් ම මේ සසුනෙහි පැවිදි වූ ඇතැම් පාපී භික්ෂුවකට මෙසේ සිතෙයි. ‘මම සිය දහස් ගණන් සැදැහැවතුන් පිරිවරාගෙන ගම් නියම්ගම් රාජධානිවල ගිහි පැවිද්දන්ගෙන් ගෞරව සත්කාර සම්මාන ලබාගෙන, සිව්පසය ලබාගෙන සැරිසරන්නේ කවදාද?’ කියා ය. පසු කලෙක ඒ පවිටු භික්ෂුව සිය දහස් ගණන් සැදැහැවතුන් පිරිවරාගෙන, ගම් නියම්ගම් රාජධානිවල ගිහි පැවිද්දන්ගෙන් ගෞරව සත්කාර සම්මාන ලබාගෙන, සිව්පසය ලබාගෙන සැරිසරයි. මහණෙනි, මොහු ලොවෙහි දකින්ට ලැබෙන පළමුවැනි මහාසොරා ය.
මහණෙනි, අනිකක් කියමි. මේ සසුනෙහි පැවිදි වූ ඇතැම් පවිටු භික්ෂුවක් තථාගතයන් විසින් වදාරන ලද ධර්ම විනය ඉගෙනීමෙන් පසු එය තමන්ගේ දෙයක් යැයි ප්‍රකාශ කරයි. මහණෙනි, මොහු ලොවෙහි දකින්නට ලැබෙන දෙවැනි මහාසොරා ය.
මහණෙනි, අනිකක් කියමි. මේ සසුනෙහි පැවිදි වූ ඇතැම් පවිටු භික්ෂුවක් පිරිසිදුව බඹසර හැසිරෙන සත්පුරුෂ භික්ෂුවකට පදනමකින් තොරව ද්වේෂ සහගතව පාරාජිකාපත්තියකින් චෝදනා කරයි නම් මහණෙනි, මොහු ලොවෙහි දකින්ට ලැබෙන තුන්වැනි මහාසොරා ය.
මහණෙනි, අනිකක් කියමි. මේ සසුනෙහි පැවිදි වූ ඇතැම් පවිටු භික්ෂුවක් සංඝයා උදෙසා පූජා කරන ලද යම් බඩු භාණ්ඩ පිරිකරාදිය වෙයි නම් එනම්; ආරාම වතු, වෙහෙර වතු, ඇඳපුටු, ලෝහ සැළි, පොරෝ කෙටේරි උදලු, තෘණ වර්ග, දැව වර්ග, මැටි බඳුන් ආදියෙන් ගිහියන්ව සතුටු කොට පොළඹවා තමාට හිතවත් කරගනියි නම් මහණෙනි, මොහු ලොවෙහි දක්නට ලැබෙන සිව්වැනි මහාසොරා ය.
මහණෙනි, යම් පවිටු භික්ෂුවක් තමා උපදවාගෙන නොමැති ධ්‍යාන, මාර්ගඵල, අභිඥා ආදිය තමා තුළ තිබෙන්නේ ය කියා කියයි නම් මේ භික්ෂුව දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව්මිනිස් ප්‍රජාව තුළ වාසය කරන ප්‍රධාන ම මහාසොරා වෙයි. ඒ මක් නිසා ද යත්, මොහු සොර සිතින් රටවැසියාගේ සිව්පසය අනුභව කරන නිසා ය.
ගාථා :-
යමෙක් වෙන ආකාරයකට ජීවිතය ගෙවමින් තවත් ආකාරයකට පවසයි නම්, ඔහුගේ ඒ සොරකමින් සිව්පසය අනුභව කිරීම ලිහිණි වැද්දා විසින් ලිහිණියන් මුළාකොට මරාකෑමක් බඳු ය.
හුදෙක් ගෙලෙහි වසාගත් කසාවත් ඇති නොහික්මුණු පාපී පුද්ගලයෝ බොහෝ සිටිති. ඒ පවිටෝ තමන්ගේ පාප කර්මයෙන් ම නිරයේ උපදිති.
ඉදින් නොහික්මුණු දුස්සීල භික්ෂුව රටවැසියා මුළාකොට ඔවුන්ගේ සිව්පසය අනුභව කරන්නේ නම් එයට වඩා හොඳ වන්නේ ගිනිසිලුවක් සේ රත් වී ගිය යකඩ ගුලි අනුභව කිරීම ය.
මෙසේ ගැරහූ භාග්‍යවතුන් වහන්සේ ශික්ෂාපදය මේ අයුරින් පනවා වදාළ සේක. “යම් භික්ෂුවක් ආර්යයන්ගේ අවබෝධයට අයත් වූ ධ්‍යාන මාර්ගඵල අභිඥා ආදිය තමා තුළ නැතුව තිබියදී ‘මා තුළ මේවා තිබෙන බව මං දන්නවා ය, මා තුළ තිබෙන බව මං දකිනවා ය’ කියා කියන්නේ ද, නමුත් පසු කාලයකදී ඔහුගෙන් ඇසූ විට හෝ නොඇසූ විට හෝ පාරාජිකාවට පත්ව සිටියදී පිරිසිදු බවට කැමතිව මෙසේ කියයි ද ‘ඇවැත්නි, මං නොදැන ම යි මෙසේ දන්නවා ය කීවේ. මං නොදැක ම යි දකිනවා කියා හිස් බොරුවක් කීවේ.’ කියා මහණෙනි, මේ භික්ෂුව පාරාජිකාවට පත්වූවෙකි. සිල්වත් සංඝයා සමග ඇසුරට නුසුදුසු ය.”
(පාරාජික පාළි)
මේ අනුව නුවණැත්තෝ ධර්ම විනයට ම ගරු කරත්වා! හුදෙක් කරුණු කාරණා නොදැන වහ වහා ප්‍රතිඵල ලැබිය හැකිය කියා කියන එක එක භාවනාවල් පසුපස නොගොසින් බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කොට පහන් සිතින් බුදුන් සරණ යත්වා! ධර්මයෙහි ගුණ මෙනෙහි කොට පහන් සිතින් දහම් සරණ යත්වා! ගෞතම බුදු සසුන එකළු කළ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් රහතන් වහන්සේලාගේ ගුණ මෙනෙහි කොට පහන් සිතින් සඟුන් සරණ යත්වා! එය බොහෝ කල් හිතසුව පිණිස පවතිනු ඇත.
No comments:
Post a Comment